කේක් එකක් හරියටම හදාගන්න ටිප්ස් 7ක්

0
709

“මගෙ කේක් එක බැහැලනේ… මැදින් පැලිලනේ… අයිසින් කරනකොට කේක් කුඩු ගෑවෙනවනේ…” මෙන්න මේ වගේ හැමදාම අහන්න ලැබෙන දේවල් වලට නොවරදින විසඳුම් එක්ක අද අපි ආවේ සුපර් සොෆ්ට් කේක් එකක් හදාගන්න හැටි කියලා දෙන්නයි.

1. අමුද්‍රව්‍ය වල ගුණාත්මකභාවය

කේක් එකක් හරියටම රසට හදාගන්න ඕනේ නම් හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙනවා. මාගරින්, බටර් එකේ ඉඳලා බේකින් පව්ඩර්, බේකින් ට්‍රේ එක පවා හරියට නැත්තන් ඉතින් අර උඩින් කිව්ව දේවල් තමා වෙන්නෙ.

බටර් කේක් වලට හොඳම බටර්  උනත් මාගරින් යොදාගෙනත් අපිට රසම රස කේක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කේක් එකක් හදන්න පැය කාලකට කලින් බටර් එක ෆ්‍රිජ් එකෙන් අරන් තියාගන්න ඕනේ. ගොඩාක් වෙලා එළියෙ තියලා තෙල්වෙනකල් ඉඳලා කේක් හදන්නත් බෑ. 

ඒ වගේම සීනි ගන්නවනම් සාමාන්‍යයෙන් කුඩා කැට සහිත සීනි ගන්න. ලොකු කැට තියනවනම් ලාවට බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. හැබැයි මතක තියාගන්න පිටි වෙනකල් බ්ලෙන්ඩ් කරලා ඉක්මණින් කේක් එක හදාගන්න ට්‍රයි කරන්නම් එපා. සාමාන්‍යයෙන් කේක් එකක් බීට් වෙන්න ඕනේ කාලසීමාව බීට් නොවී කේක් එක හරියට එන්නෙ නෑ. ඒ නිසා සාමාන්‍ය කැට සහිත සීනි බටර් එක්ක බීට් කරලා බිත්තර දානකොට කැට ටිකක් තිබු​ණට කමක් නෑ. බිත්තර දැම්මට පස්සෙ තමයි හොඳටම සීනි කැට දියවෙන්නෙ.

බිත්තර ගන්නකොට හැමවෙලේම ෆ්‍රෙශ් බිත්තර ගන්න. ලාවට හරි නුහුරු ගඳක් එනවනම් වහාම අයින් කරගන්න. අනික තමා බිත්තර ගන්නකොට එක පාර එකම බෝල් එකට දාගන්න එපා… එකින් එක වෙන වෙනම කඩල බලල දාගන්න. නැත්නම් මුළු කේක් මික්ස් එකම අයින් කරන්න සිද්ධ වෙනව. 

පාන්පිටි උනත් හුළං වදින්නෙ නැතිව ගබඩා කරපු හොඳට හලපු පිටි ගන්න. බේකින් පව්ඩර් නම් අනිවාර්යයෙන්ම හොඳට වහලා හුළං වදින්නෙ නැතිවෙන්න තියන්න ඕනේ. කේක් ගොඩක් පිපෙන්නෙ නැතුව අවුල් යන්න මේ බේකින් පව්ඩර් වල ප්‍රශ්නෙ ගොඩක් බලපානවා.

වැනිලා උනත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න. 

2. බඩු ටික හරියටම හදාගන්න හැටි

කේක් එකක් හදාගන්නකොට නියමිත ප්‍රමාණ වලින් බඩු එකතු කරගන්න එක වැදගත්. කේක් එකේ රස, සොෆ්ට් ගතිය, මේ හැම එකටම අපි එකතු කරගන්න ප්‍රමාණවල් වැදගත් වෙනවා.

උදාහරණයක් විදියට අපිට ද​ළ වශයෙන් කිලෝ එකක කේක් එකක් හදාගන්න ඕනෙ නම් බටර් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 250, පාන්පිටි ග්‍රෑම් 250, සාමාන්‍ය සයිස් බිත්තර 4ක්, බේකින් පව්ඩර් තේ හැඳි 2, වැනිලා තේ හැඳි 1 1/2ක් හා කිරි මේස හැඳි 2ක් ඕන වෙනවා. 

මේවා මේ ප්‍රමාණ වලින් හරියට දාගන්න ඕනේ. බිත්තර වල සයිස් එක අනුව බර වෙනස් වෙන්න පුළුවන් නිසා කටු ඉවත් කරල කිරලා ග්‍රෑම් 250ක් තියනවද කියලා බලන්න. දළ වශයෙන් කිලෝ 1ක් කියල කිව්වෙ ග්‍රෑම් 250 ගාණෙ අරන් අපි කේක් එක හදන්න ගත්තට බේක් වෙනකොට දියර බර අඩුවෙන නිසා හරියටම කිලෝ එකේ කේක් එකක් එන්නෙ නැහැ. 

මේව හරියට කිරාගන්න පොඩි ඩිජිටල් ස්කේල් දැන් වෙ​ළඳපළේ තියනවා. ඒව ඒ තරම් මිලාධික නෑ. ඒකක් අරගෙන තියාගන්න. ස්කේල් නැතිනම් මෙශරින් කප් සෙට් එකක් හරි කමක් නෑ. කොහොමහරි බඩු ටික හරි ප්‍රමාණ වලින් ගන්න ඕනේ.

3. කේක් එක හදනකොට දැනගන්න ඕන ටිප්ස්

කේක් එකක හදනකොට මුලින්ම පිටි හා බේකින් පව්ඩර් කලවම් කරලා අවම 4 සැරයක්වත් හලාගන්න ඕනේ. හලාගත් පිටි හුළං නොවදින්න වහලා තියන්න. මේක මුලින්ම කරගෙන ඉන්න. ඊළඟට උඩින්ම කිව්වා වගේ කේක් එකක් හදනකොට මුලින්ම බටර් ටික ෆ්‍රිජ් එකෙන් අරන් පැය කාලක් වගේ යද්දි වැඩේ පටන්ගන්න. 

කේක් එකක් හදනකොට නියමිත වෙලාවක් බීට් විය යුතුමයි. ඉක්මණින් බීට් වෙන්න කියලා මුළු කාලයම හයිස්පීඩ් බීට් කරන්නත් එපා. ඒකෙන් වෙන්නෙ බටර් එක ඕනවට වඩා රත්වෙලා තෙල් ගතියක් එන එක. 

ඒ වගේම බිත්තර එකතු කරනකොට පිළී ගඳ එන කහමදය අයිනෙ තියෙන සුදුපාට ඝණ කොටස අයින් කරලා ගන්න.

පත්තකින් ක​ළත් ඉලෙක්ට්‍රික් බීටරෙන් ක​ළත් හැමවෙලේම එකම පැත්තකට බීට් කරන්නත් අමතක කරන්න එපා.

බිත්තර එකින් එක එකතු කරල බීට් කරන අතරතුර කේක් මිශ්‍රණයේ කැදලි වගේ ආවොත් කේක් එක හදන්න ගත්ත පාන්පිටි වලින් කෝප්ප කාලක් වගේ දාලා බීට් කරන්න. බිත්තර දාලා හොඳට ක්‍රීම් වෙනකල් බීට් කරන්න.

මුල ඉඳන්ම අඩුම විනාඩි 20ක්වත් බීට් වෙන්න ඕනේ. කේක් එකේ සොෆ්ට්නස් එකට ඒක ගොඩක් බලපානවා.

අන්තිමට පාන්පිටි එකතු කරලා එකම පැත්තට ලී පත්තකින් කලවම් කරගන්න. පිටි ටික හොඳට කලවම් උනාම වැනිලා එකතු කරලා කිරි ටික දාගන්න. කිරි දාගෙන විනාඩි 2ක් විතර පත්තෙන්ම කලවම් කළාට කමක් නෑ. චොක්ලට් කේක් එකක් නම් කිරි ටිකක් වැඩිපුර දාගත්තට කමක් නෑ.

4. කේක් එක නියමෙට බේක් කරගන්න හැටි

මෙන්න මේ කොටසත් පරිස්සමින් කරගන්න ඕනේ. ඔයිල් පේපර්ස් නැතිනම් ට්‍රේ එකට බටර් ටිකක් ගාලා පිටි ටිකක් ඉහලා ගන්න.

කේක් එකක් බේක් වෙන්න ඉඩ තියන ට්‍රේ එකකට දාගන්න ඕනේ. ඔය සමහර කේක් පැලෙන්න මේක හේතුවක් තමයි කේක් ට්‍රේ එකේ ඉඩ මදිකම. කේක් ට්‍රේ එකෙන් ⅔ ක් පිරෙන්න බැටර් එක දැම්මට ට්‍රේ එකේ දිග පළල කේක් එක බේක් වෙන්න බලපානවා. 

ඒ වගේම ඔයාලා ගන්න රෙසිපි එකට අනුව බේක් කළයුතු ප්‍රමාණවල් වෙනම තියනවා. ඒ ටයිම් එක කවර් වෙන්න ප්‍රීහීට් කරලයි කේක් එක දාගන්න ඕනේ. ඒ කියන්නෙ කේක් එක පැය භාගයක් බේක් වෙන්න ඕන නම් විනාඩි 10ක් අවන් එක ප්‍රීහීට් කරනව නම් අවන් එකේ ටයිමර් එක විනාඩි 40ට සෙට් කරන්න. ප්‍රීහීට් විනාඩි දහය ගියාම කේක් එක අවන් එකට දාගන්න.

වතුර භාජනයකට දාලා බේක් කරගන්න ඕනේ ස්පොන්ජ් කේක් වගේ ඒවා ඒ විදියටම කරන්න. ඒ වගේම කේක් එක බේක් නොකර ස්ටීම් කරනවනම් හොඳට වැහෙන පියනක් සහිත ස්ටීමර් එකක් තෝරගන්න.

කේක් එක අවන් කරන කාලසීමාව ඇතු​ළත සැරෙන් සැරේ අරින්න එපා. විනාඩි 25ක් යනකම් කොහෙත්ම අවන් එක අරින්න එපා. කේක් එක බහින්න හේතුවක්. 

ඒ වගේම නියමිත කාලය අවසන් උනාම ටූත් පීක් එකක් ගහලා බලලා කේක් එක බාගන්න.

අවන් එකේ උඩ යට දෙකම හීටර්ස් ඔන් කරලා බේක් කරගන්න.

කේක් එක උඩ විතරක් බේක් වෙලා මැද අමු වෙන අය බලන්න හීටර්ස් දෙකම හොඳට වැඩ ද කියලා ඒ වගේම හැමවෙලේම අවන් එකේ මැද ට්‍රේ එකට කේක් එක දාගන්න.

කේක් එක එළියට ගත්තු ගමන්ම ට්‍රේ එකෙන් අයින් කරන්න එපා. විනාඩි 10ක් වගේ තියලා කූලින් රැක් එකට දාගන්න. තැටියෙම සම්පූර්ණයෙන් නිවෙන්න දෙන්නත් එපා.

5. ස්කේල් එකක් නැති අයට ආදේශක මිණුම් කිහිපයක් හා තැටි වල මිනුම්

250ml මෙශරින් කප්ස් වලින්

බටර් කෝප්ප 1 = ග්‍රෑම් 225

පාන්පිටි කෝප්ප 1 = ග්‍රෑම් 130

සීනි කෝප්ප 1 = ග්‍රෑම් 215

ග්‍රෑම් 500 තැටිය – 6″ (රවුම් තැටි විෂ්​කම්භය)

                                 6*6 (කොටු)

ග්‍රෑම් 750 තැටිය – 7″ (රවුම් තැටි විෂ්​කම්භය)

                                 7*7 (කොටු)

කිලෝ 1 තැටිය – 8″ (රවුම් තැටි විෂ්​කම්භය)

                               8*8 (කොටු)

කිලෝ 1 1/2 තැටිය – 10″ (රවුම් තැටි විෂ්​කම්භය)

                                       10*10 (කොටු)

කිලෝ දෙක තැටිය – 12″ (රවුම් තැටි විෂ්​කම්භය)

                                       12*12(කොටු)

6. කේක් එක ක්‍රම්බ් කෝට් කරගන්න අයිඩියා එකක්

කේක් එක හොඳටම නිවුනට පස්සෙ තමයි අයිසින් කරගන්න ඕනේ. ගොඩක් අයට එන ගැටළුවක් තමයි කේක් එක අයිසින් කරනකොට කේක් කුඩු අයිසින් එකේ ගෑවෙන එක. ඒකට අතේ හුරුව වගේම අයිසින් එකේ ස්වභාවයත් වැදගත්. 

ක්‍රම්බ් කෝට් කරනකොට පාවිච්චි කරන්නෙ සොෆ්ට් බටර් අයිසින්. ඒකෙන් ක්‍රම්බ් කෝට් කරන්න ලේසියි. අයිසින් රෙසිපි නම් ගණනාවක් අපි කලින් පළ කරා. මුලින්ම පයිපින් බෑග් එකකට සොෆ්ට් බටර් අයිසින් දාලා පයිප් කරලා ස්පැටූලා එකෙන් ස්මූත් කරගන්න. මේක ටිකක් වෙලා හයිවෙන්න තියලා නෝමල් බටර් අයිසින් ගාගන්න. එතකොට කේක් එක කවර් කරන කොට අයිසින් එකේ කුඩු ගෑවෙන්නෙ නෑ.

7. ෆොන්ඩන්ට් අයිසින් වලදි කේක් එක හදාගන්න හැටි

සාමාන්‍යයෙන් ෆොන්ඩන්ට් අයිසින් එක එලන්න කලින් ක්‍රම්බ් කෝට් කරගන්න ඕනේ. ඒ වගේම අයිසින් එක වේලෙන්න කලින් ෆොන්ඩන්ට් එක එලාගන්නත් ඕනේ.

තව පුංචි දෙයක් කියන්නම්. කේක් එක බේක් උනාම උඩ පොත්ත අයින් කරලා අයිසින් කරන නිසා එහෙම අයින් කළාම කේක් එක උඩ සමබර නෑ වගේනම් කේක් එක උඩ යට මාරු කරලා අයිසින් කරගන්න. පැතලි මතුපිටක් කේක් එකට ඒකෙන් ලබාගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here