‘හර්නියා’ තත්වය ගැන නිවැරදිව දැනගනිමු

0
56

හර්නියා’ යනු වැඩිහිටි පුරුෂයන්ට පමණක් හැදෙන රෝගයක් කියලයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒත් සත්‍යය එය නොවෙයි. හර්නියා අලුත උපන් බිලිඳුන්ටත් කාන්තාවන්ටත් පමණක් නොව ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයකුට හටගත හැකියි. උදර කුහරයේ ඇතුළත බිත්ති දුර්වල වීමෙන් ඒවා හරහා කුස තුළ ඇතිවන පීඩනය වැඩිවී එම දුර්වල වූ ස්ථානවලින් බඩවැල් ඇතුළට නෙරා ඒම හර්නියා යනුවෙන් හැඳින්වේ.

උදර බිත්තියේ ඇතුළත ස්ථරය දුර්වල වීමට බලපාන හේතු
  • සති තුනකට හෝ හතරකට වැඩි කාලයක් පවතින වියළි කැස්ස.
  • බඩ වේළීම දිගු කලක් පැවතීම.
  • මුත්‍රා අඩස්සිය හෝ මුත්‍රා කිරීමට තැටමීමට සිදුවීම සහ මළපහ කිරීමට ද තැටමීමට සිදු වීම.
    තැටමීමෙන් කුස තුළ පීඩනය වැඩි වී උදරයේ බිත්ති දුර්වල බවට පත්වේ.
  • දුම්බීම, දුම්බීමෙන් උදර බිත්තියේ ශක්තිමත් බව අඩු වේ. එමෙන්ම දුම්පානය කරන පුද්ගලයන්ට කැස්ස ඇති වන හෙයින් ඔවුන්ගේ උදර බිත්තියෙහි ‍මස්පිඬු දුර්වල වේ.
  • සංජානනීය ආබාධ.
  • ඇතැමුන් ගේ ඉකිලිය සහ පෙකණිය අවට ඇතුළත බිත්ති උපතින්ම දුර්වල ව පිහිටයි. කාන්තාවන් ගර්භණී සමයේ දී කුස තුළ හා පෙකණිය අවට ඇතුළත සම ඇදී තුනී වෙයි. ඒ හේතුවෙන් ඇතැම් විට කාන්තාවන්ට හර්නියා රෝගය හටගනී.
  • ඇතැම් පිරිමි දරුවන් මව් කුස තුළ සිටිය දී ඔවුන්ගේ වෘෂණ කෝෂ පහළට එන විට ඇතිවන විවිධ අසාමාන්‍යතා හේතුවෙන් එම දරුවන්ට උපතේදීම හර්නියා තත්ත්වයක් ඇති විය හැකියි.
  • අධික බර ඉසිලීම.
  • අධික බර ඔසවන පුද්ගලයන්ගේ මාංශ පේශී දුර්වල වූ විට හර්නියා ඇති විය හැකියි.
හර්නියා තත්ත්වය වැඩිපුර ඇතිවන සිරුරේ ස්ථාන
  • පිරිමින් ගේ නම් ඉකිලි දෙක ආශ්‍රිත ප්‍රදේශයේ.
  • කාන්තාවන්ගේ සහ ළමයින් ගේ පෙකණිය ආශ්‍රිතව.
රෝග ලක්ෂණ
  • ඉකිලිය හෝ පෙකණිය අවට හෝ පිටතට නෙරා එන ගෙඩියක් ‍හෝ නෙරුමක්.මෙම ගෙඩිය වේදනාකාරී වේ. එය ඉඳ හිට නැඟෙන සියුම් වේදනාවක් විය හැකිය.
  • බර ඉසිලීමේ දී හෝ දිගු වේලාවක් හිටගෙනසිටින විට මේ වේදනාව වැඩියෙන් දැනේ. හාන්සි වූ විට ගෙඩිය ශරීරය තුළට ගොස් වේදනාව ද මඳකට සමනය වේ. රෝග ලක්ෂණ එසේ වරින් වර මතුවී තිබී හදිසියේම උත්සන්න වීමට පුළුවන.
දැකිය හැකි විශේෂ ලක්ෂණ
  • පුරුෂයින්ගේ වෘෂණ කෝෂ විශාල වීම මෙන්ම ස්ත්‍රීන්ගේ ලිංගේන්ද්‍රිය විශාල වීමක් දැඩි වේදනාවක් ඇතිවීමටත් පුළුවන්. කුඩා ළමයින්ගේ පෙකණිය ගෙඩියක් සේ ඉලිප්පී තිබීම හා වේදනාව ඇති විය හැකියි.
හර්නියා ගෙඩියක් ඇති වීමෙන් සිරුර තුළ ඇති වන තත්ත්වය

සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර බඩවැල් දිගේ පහසුවෙන් ගමන් කරනවා. හර්නියා තත්ත්වයක් ඇති වූ විට ආහාර මාර්ගයේ අවහිරතා ඇති වෙනවා. එවිට ආහාර මාර්ගය දිගේ අප ගත් ආහාර ආපසු එන්නට පටන් ගන්නවා.

එවිට වමනය යාම, බඩ වේළීම, මළපහ ප්‍රමාණය අඩුවීම, බ‍ෙඩ් වේදනාව ඇති වෙනවා. මේවා රෝගය උග්‍ර වී හදිසි අවස්ථාවක ඇති විය හැකි ලක්ෂණයි.

හර්නියා තත්වයකදී ගත හැකි ප්‍රතිකාර පිළිබඳව අපි ඉදිරි ලිපියකදී කතා බහ කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here